නීතියේ යුවතියට උන්ගා බුන්ගා කිරීම >> Gang Raping the Lady Justice

නීතියේ යුවතිය ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ ලැජ්ජා සහගත ඉතිහාසයකි. ජේ. ආර් ජයවර්ධන විසින් ස්වකීය පාදඩ බලකාය යොදවා විනිසුරුවරුන්ගේ නිවෙස් වලට ගල්මුල් ප්‍රහාර එල්ල කරවීම, දේශපාලන එදිරිවාදීන්ගෙන් පළිගැනීමට අධිකරණය යොදා ගැනීම හා චන්ද්‍රිකා බණ්ඩාරනායක – සරත් එන් සිල්වා දෙපල එක්ව සිදුකල අවිනීතකම් වැනි ක්‍රියා හේතුවෙන් රටේ නීතියට හා අධිකරනයට සිදුවූ හානිය අතිමහත්ය.

රටේ නීති තනන්නන් හා විධායකය වැරදි පූර්වාදර්ශයන් දීම ඉතාම බරපතල තත්වයක් වන්නේ මෙමගින් රටේ සාමාන්‍ය ජනතාවට නීතිය පිලිබඳ වන විශ්වාසය බිඳ වැටීමය. මෙහි ඍජු බලපෑම වන්නේ, ඕනෑම මොහොතක තමන් ගලවාගැනීමට දේශපාලන හස්තයන් පවතින බව දන්නා පාදඩයින්, නීතිය බල්ලාට දමා අපරාධ කිරීමට පෙළඹීමය. තවද නීතිය පිලිබඳ මහජන විශ්වාසය බිඳවැටුනු විට, කල දුටු කල නීතිය හැසිරවීම හා සැකකරුවන්ට දඬුවම් දීම අවේගශීලී ජනතාව තමන් වෙත පවරාගැනීමයි. මේ කිසිවක් රටක ඉදිරිගමනට සුභදායි නැත.

වසර ගණනාවකට පෙර, නීතියේ යුවතියගේ හිරි ඔතප් බිඳීමට තැත් කිරීම්, අපහරණය කිරීම් හා දූෂණය කිරීම් මට්ටමේ වූ ක්‍රියාකාරකම් මේ වන විට ඇයව සමූහ දූෂණයට ලක් කරන මට්ටමට පැමිණ තිබීම සංවේගජනකය.

මේ සඳහා ආසන්නතම උදාහරනය, රජයේ සමාගමක ලිපිලේඛන කූඨ ලෙස සකස් කරමින් යකඩ ටොන් එක්දහස් අටසිය ගණනක් ලබාගැනීමේ වංචාවේ ප්‍රධාන සැකකරු වන සුධර්මන් රදලියගොඩගේ නම හා ඔහුට එරෙහිව වූ සාක්ෂි, එම නඩුව කොටුව අධිකරණයෙන්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු වන විට අතුරුදහන්ව තිබීමයි! සංවේගජනකම කරුණ මෙය හුදෙකලා සිදුවීමක් නොව, එවැනිම පිළිකුල් සහගත සිදුවීම් පෙලක පුරුකක් පමණක් වීමය.

– ස්ත්‍රී දූෂක කුඩු ජාවාරම් කරුවන්ව නීතියට ඉහලින් හිඳුවා ඔවුන් ලවා රටේ ආරක්ශාව නිරීක්ශනය කරවීම
– ඇසින් දුටු සාක්ෂි තිබියදී, චන්දන කත්‍රිආරච්චිට එරෙහි මිනී මැරුම් චෝදනා ඉවත්කර ගැනීම.
– සුසන්ත පුන්චිනිලමේ/මහින්ද රත්නතිලක වැන්නන්ගේ සියලු අපරාධ චෝදනා පිල් මාරු සමග අහෝසි කර්ම කරවීම
– මැරවින් සිවලා ලවා රටේ සම්මත නීති තඹයකට මායිම් නොකරන කැළෑ නීති රජකරවීම
– සහ දරුණු සාපරාධී අපරාධ හේතුවෙන් නීතිය මගින් වරදකරුවන් කල පුද්ගලයින්ව විධායක බලතල යටතේ මුදා හැරුනු සිද්ධීන් මේ අතරින් ප්‍රධාන තැනක් ගනී.

කුමන දේශපාලන පක්ශයක් යටතේ, කුමන රජයක් විසින් සිදුකලද හෙලා දැකියයුතු මෙවැනි ක්‍රියා හමුවේද අපගේ ජනසමාජයේ හැසිරීම සුපුරුදු පරිදිම ප්‍රාථමිකය. යම්කිසි අධ්‍යාපනක් ඇති පුදගලයන් පවා “මොනව උනත් යුද්දෙ දිනල දුන්න ආණ්ඩුවනෙ…” සහ “යූඇන්පී කාරයො ආවත් ඕකමනෙ කරන්නෙ…” වැනි තර්ක ඉදිරිපත් කරනු නිරතුරුව දැකිය හැක.

යුද්ධය දිනීම, ඕනෑම ජඩ වැඩක් සාධාරනීය කිරීමට ලබා දෙනලද සදාකාලික බලපත්‍රයක්ද? වෙනත් පැවති රජයක් හෝ අනාගතයේ පත්වන එජාප රජයක්ද [බොහෝ විට තවත් පරම්පරා ගණනකින් ;-)] වැරදි කරනු ඇති බවට කරන උපකල්පනය වර්තමානයේ වරදවා හැසිරීමට සමාවට කරුණක්ද?

යමෙක් වැරදි හැසිරීමක යෙදෙයිද, ඔහු තමාගේ කෙතරම් සමීපතමයෙකු වුවත්, ඔහු අතීතයේ කෙතරම් නිවැරදි දේ කර තිබුනත්, ඔහු කුමන තරාතිරමක පුද්ගලයකු වුවත්, ඔහු තමුන්ගේ පාක්ශිකයෙක් වුවත්; එම වරද හෙලා දැකිය යුතුය. එසේ නොවන තාක් කල්, කෙතරම් පාළම්, මහාමාර්ග, ක්‍රීඩාංගන හෝ වරායවල් ඉදි කළත්; තව තවත් ප්‍රපාතයකට මිස ඉදිරියට යා නොහැකිය.

නමුත් මෙරටේ සිදු නොවන්නේද එයයි.

සාම්ප්‍රදායික යූඇන්පී කාරයාට, කෙතරම් අමන ක්‍රියා සිදු කලද තමුන්ගේ පක්ශය ශ්‍රේෂ්ඨය, ඔවුන් බලා සිටින්නේ අලස රනිල් ඉවත්වී සජිත් එනතුරුය. (සජිත්ගේ දේශපාලන දැක්ම හා ප්‍රතිපත්ති වලින් ඔවුන්ට වැඩක් නැත.) මැතිවරණ සමයේ ජෙනරල් ෆොන්සේකාගේ අදේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික නොවන කතාවල කිසිදු වරදක් ඔහුගේ පාක්ශිකයන්ට නොපෙනුනි. ජවිපෙ පාක්ශිකයන්ට තම පක්ශය පරමාදර්ශී වස්තුවකි. හෙළ උරුමයේ හොර උපාසකයින්ට හා ජාතික නිදහස් පෙරමුණේ වානර රැලට තමුන්ගේ රෙදි උස්සා ගෙන යකා නැටීමට අවශ්‍යවන්නේ තම පක්ශ වල ශ්‍රමණවේශ්ධාරියෙකුන් ලැබෙන සුලු ඉඟියක් පමණි.

මේ අයුරින්ම රාජපක්ශවාදීන්ට අනුව, වර්තමානයේ සිදුවන සියලු, දූෂණ, වංචා, අයථා මූල්‍ය ගනුදෙනු, මහා පරිමාන මුදල් නාස්ති හා අනේකවිධ ජඩකම් සියල්ලම යුද්ධයේ නාමයෙන් ඉවසාදරාගතයුතු කාරනාය.

එමනිසා අපගේ ජනසමාජය තුල මේ ආකාරයේ පිළිකුල්සහගත අවනීතියේ හැසිරිම් තව බොහෝ කාලයක් අත්විඳින්න සිදුවනු නොඅනුමාණය.


ග්‍රීස් යකා, සිවිල් සමාජය හා ජන මාධ්‍යය

2011 අගෝස්තු 11 වනදා (ඊයේ රාත්‍රී ) බොහෝ මාධ්‍යය විසින් වාර්ථා කල ග්‍රීස් යකුන් පිලිබඳ ප්‍රවෘත්ති බහුතරයක් දෙනා විසින් දකින්නට ඇතැයි සිතමි.

විවිධ ප්‍රදේශ වලදී කාන්තාවන් තනිව සිටින නිවෙස්, නාන ළිං ආදී තැන් වල හොරෙන් බලා සිටීමේ සිට ඔවුන්ව ස්පර්ශ කිරීම හා ඔවුන්ට හිරිහැර කිරීම දක්වා විවිධ ක්‍රියා සිදුකල පුද්ගලයන් පිලිබඳව වාර්ථා වීමෙන් පසුව සිදුවූ සිදුවීම් මෙම ප්‍රවෘත්ති වලට පාදක වූ අතර “සැකකරුවන්” කීප දෙනෙකු ගම්වැසියන් විසින් අල්ලා බරපතල ලෙස පහරදී පොලිසියට බාරදී තිබූ අතර තවත් සැකකරුවන් දෙදෙනෙකුට මැරෙන තුරු පහර දී තිබේ.

මෙම විකෘති ලිංගික හැසිරීම් සහිත පුද්ගලයන් සමාජයට හිරිහැරයක් බව හා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී දඬුවම් පැමනවිය යුතු බවට කිසිදු විවාදයක් නැති වුවද, විධිමත් සාක්ෂි විමසීමකින් හෝ නෛතික ක්‍රියාවලියකින් තොරව මෙම සැකකරුවන්ගේ අත්පා බිඳ දමා, හිස් කබල් පොඩි කර, ම්ලේච්ඡ ලෙස මරා දැමීම අපට අනුමත කල හැකිද?

පාදය කඩා දමා පොලිසියට බාර දුන් එක් සැක කරුවෙක් පවසා තිබුනේ තමා ජීවිකාව උදෙසා පුවක් එකතු කිරීමට ගම් වල ඇවිදින අතර “හුදෙක් සැකය මත පමණක්” ගම්වැසියන් තමාට අමානුශික ලෙස පහර දුන් බවත්ය. මෙහි සත්‍යය අසත්‍යය බව අප නොදනිමු. නමුත් මෙය සත්‍යය නම්? නිදහසට කරුනු කීමට කිසිම ඉඩක් නොතබා පහරදී මරා දමන ලද අනෙක් දෙදෙනා සැබවින්ම අහිංසකයින් නම්? මැර දේශපාලඥයෙකුගේ හෝ පාතාලයෙකුගේ හෙංචයියෙක් නොවී, ස්වයං රැකියාවක නිරත වීම, හුදෙක් සැකය මත, බිහිසුනු ලෙස මරා දැමිය හැකි අනතුරකට පත්වීමක්ද?

මේ සියල්ලන්ටම වඩා අප්‍රසන්නම සිදුවීම නම්, මෙය බොහෝ රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්යෝ මගින් ප්‍රචාරය කල ජුගුප්සාජනක ආකාරයයි. එක් රූපවාහිනී මාධ්යනයක් මෙම ක්‍රියා මහා ශූරකමක් ලෙස අදහස් වන පරිදි ප්‍රචාරය කලා පමණක් නොව ඉතා ග්‍රාම්‍ය ලෙස “ගමේ අය නියමෙට දුන්නා” “හොඳට සැලකුවා” යනාදී ලෙස විස්තර විචාරය කරමින් මළ කඳන් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබීම ඔක්කාරය ඇතිකරවන්නක් විය. (මෙම සියල්ල ඔවුන් වාර්ථා කලේ මැරවින් සිවලා අහිංසකයකු ගස් බැඳීම වාර්ථා කල පරිදිම සිනා මුසු මුහුනින් බවද කණගාටුවෙන් වුවත් කිව යුතුය.)

රටේ බහුතරයක් ජන මාධ්‍යය මගින් මේ දෙන පණිවුඩය කුමක්ද? කිසිදු වග විභාගයකින් තොරව නීතියට අතට ගෙන වනචාරීන් ලෙස හැසිරීමට උල්පන්දම් දීම කොතරම් භයානකද යන වග මේ ඔල මොට්ටල මාධ්‍යවේදීන්ට නොපෙනෙන්නේද? මෙවැනි අකටයුතු හමුවේ සිවිල් සමාජය මෙතරම් නිද්‍රාලශීලී, මේ මරා දමන්නේ හා රස කරමින් මළකුනු විකුනා දමන්නේ අපේ ඥාතියෙක්ගේ හෝ හිතවතෙකුගේනොවන, කිසිදු හඬක් නැති අසරනණයින්ගේ නිසාද? හෙට දිනයේදී ඔබ විසින් පදාවාගෙන යන වාහනය රිය අනතුරකුට ලක් වී ගම්වැසියකු තුවාල ලැබුවහොත්, මෙලෙස මාධ්‍යය මගින්, “නීතිය අතට ගෙන දඬුවම් දීමට” වරම් දෙනු ලැබූවන් ඔබට කෙසේ සලකනු ඇතිද?


පුරුෂ ලිංගය දඬුකඳේ ගසා, ස්ත්‍රී ලිංගයේ සුපර් ග්ලූ ගැල්වීමට පෙර…

ගෙවුනු සති කීපය පුරාවටම ප්‍රසිද්ධ ස්ථාන වල  පෙම් කිරීම, කුඩා පරිමානයේ හෝටල් හා ලැගුම්හල් වල රැඳී සිටීම වැනි ක්‍රියාවන් වල නිරත වූ බොහෝ දෙනෙකු අත් අඩංගුවට ගැනීමේ සිද්ධීන් බොහෝ පෙදෙස් වලින් අසන්නට ලැබුනි. එසේම මේ පිලිබඳව විවිධ අය, විවිධාකාර මතවාදයන් ඉදිරිපත් කරනු දැකියහැකි විය. 

සාරාංශ වශයෙන් ගතහොත්…

– ප්‍රසිද්ධියේ පෙම් කිරීම නිවැරදිද?
– අවිවාහක වැඩිහිටියන් (18+) ලිංගිකව හැසිරීම වරදක්ද?
– ඒවා අපගේ සංස්කෘතිය හා සදාචාරයට උචිතද?
වැනි දේ බහුලව කතාබහට ලක් විය.

මෙම වැටලීම්, අත් අඩංගුවට ගැනීම් අනුමත කරන අයගේ ප්‍රධානතම තර්කයන් වන්නේ, ප්‍රසිද්ධියේ පෙම් කිරීම අශෝභන බවත් ඒවා දැකීමෙන් ළමුන්ගේ සිත් දූෂණය වන බවත්, අවිවාහක යෞවනයින් ලිංගිකව හැසිරීම දැඩි ලෙස සදාචාර විරෝධී ක්‍රියාවක් බවත්ය.

මෙහිදී නැගෙන ප්‍රධානම ගැටළුව, “අශීලාචාර” කම නිරපේක්ශ දෙයක් නොව, ඉතා සාපේක්ශ සංරචකයක් වීමයි. ජපුර උපකුලපති වැන්නන්ට, විරුද්ධ ලිංගිකයකුගේ අතින් අල්ලාගෙන සිටීමත් දඬුකඳේ ගැසියයුතු තරමේ නොහොබිනා කමක් වුවත්, තවත් කෙනෙකුට එය ඉතා අහිංසක සිදුවීමක් පමනි. යුවලක් මුහුදු වෙරළක තුරුලු වී සිටීමද මේ අනුව වෙනස් ආකාර වලින් විග්‍රහ කල හැක. (මේ කතා කරන්නේ ප්‍රසිද්ධ ස්ථාන වල සංසර්ගය හැර අන් සියලු ක්‍රියාකාරකම් වල යෙදෙන ජෝඩු ගැන නොවේ. එය සීමාව ඉක්මවා යාමක් ලෙස වර්ගීකරනය කිරීම මමද අනුමත කරමි.)

නමුත් පසුගිය දිනවල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙවැනි දැඩිලෙස සීමාව ඉක්මවා ගිය පෙම්වතුන් පමණක් නොවන බවට ඇසින් දුටුවෝ සාක්ෂි දරති.

සුලු පරිමාණ හෝටල් හා ළැගුම්හල් වැටලීමද දෙයාකාරකින් විග්‍රහ හැක.

විශේෂයෙන්ම කුරුණෑගල, ගම්පහ වැනි නගරවල ඇති ළැගුම්හල් වල ආදායමෙන් වැඩි කොටස ටියුෂන් සිසු සිසුවියන්ට සේවා සැපයීම මගින් ලබා ගන්නා බව ප්‍රසිද්ධ කරුණකි. එසේම වංචාකාර ව්‍යාජ පෙම්වතුන්ට හසුව (උදා. නිරුවත් ඡායාරූප හා වීඩියෝ ප්‍රසිද්ධ කරන බවට බියවැද්දීම්.) තමුන්ගේ ජීවිත ව්‍යාකූල කරගත් යෞවනියන් ගැනද නිතර අසන්නට ලැබේ. (දේශීය “අසභ්‍ය”[?] වෙබ් අඩවි වල මෙවැනි වීඩියෝ බහුලව දැකිය හැකි අතර ඒවා වාරණය කිරීම වෙනම මාතෘකාවක් යටතේ සාකච්ඡා කල යුත්තක් බව සිතමි.)

එම නිසා උක්ත කරුන පමණක් සැලකුවහොත් මෙවැනි ළැගුම්හල් වැටලීම සාධාරනීකරනය අතිශයින්ම සරලය.

නමුත් ප්‍රශ්නය එය එසේ නොවීමය.

නොයෙකුත් හේතූන් මත වර්තමානයේ තරුණ තරුණියන් විවාහ වන වයස් සීමාව අවුරුදු 26-30 මට්ටමට පැමිණ ඇත. (මෙය විවිධ සමාජ ස්ථර වලදී වෙනස් හේතූන් මත සිදුවිය හැක. පහල ස්ථර වලදී ආර්ථික ප්‍රශ්න හෝ බාල සහෝදරියන්ගේ විවාහ ප්‍රමාදය ලෙසද, මධ්‍යම හා ඉහල ස්ථර වලදී උසස් අධ්‍යාපන වැනි හේතූන්ද ලෙසද හඳුනාගත හැක.) හේතු කාරණා කෙසේ වුවද, අවසාන ප්‍රතිඵලය ජීව විද්‍යාත්මකව ලිංගිකව පරිපූර්ණ යෞවන යෞවනියන්ට ජීවිතයේ ලිංගික ක්‍රියාකාරීත්වය උපරිමව පවතින කාලපරාසයෙන් වැඩි කොටසක් තම ලිංගික අවශ්‍යතා වැර වෑයමින් යටපත් කරගෙන වේලෙන්නට සිදුවීමයි.

මෙවැනි අයකු, තම පෙම්වතා හෝ පෙම්වතිය සමග ළැගුම්හලකට යාම ජීව විද්‍යාත්මකවද, මානුෂික වශයෙන්ද ඔවුන් සතු පරම අයිතියක් නොවේද?

අනෙක් කරුන නම්, ප්‍රසිද්ධියේ පෙම් කිරීම හා පූර්ව-විවාහ ලිංගික සම්බන්ධතා අපගේ සංස්කෘතිය හා සදාචාරය සමග සසඳන්නට බොහෝ දෙනා වෙර දරන්නේ දශක ගණනක් පැරණි ඒකක සහ මාන භාවිතයෙන් වීමයි. (and under a completely different value system)  තරුණයන්ව අවුරුදු 17, 18න් ද, තරුණියන්ව යන්තම් මල්වරවී වසරකින් පමණද විවාහ කරදුන් සමයක පෙම් සබඳතා හෝ පූර්ව-විවාහ ලිංගික සම්බන්ධතා නොතිබීම අරුමයක් ද? (සරලව කියනවානම් “ලිහල බලන්න පුලුවන් මල්ල ඔබල බලන්නේ කවරනම් කැසිල්ලකටද?”)

මෙහි ඇති මාරාන්තිකම විහිලුව නම්, ප්‍රසිද්ධ ස්ථාන වල සිටින පෙම්වතුන් හා ළැගුම්හල් ගැන තීරණ ගැනීමේ බලය, අන්තිම බිංදුවතෙක්ම පිරිහුනු, ඔළමොට්ටල පොලීසි වලට ලබා දීමය. සිහි බුද්ධියෙන් කරුනු විමසා බලා ක්‍රියා කිරීමක් ඔවුන්ගෙන් කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. කළකට ඉහත, තම පෙම්වතා සමග සිනමා ශාලාවක සිටීමේ වරදට අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කල තරුණියක ලැජ්ජාව නිසා සියදිවි නසාගත් පුවතක් මහෝදරට තවමත් මතකය. (ලැජ්ජාව තියෙන තරුණියක් නම් පෙම්වතා සමග අඳුරු සිනමාශාලාවකට යනවාදැයි වැනි ප්‍රශ්නයක් උනත් නූතන ලාංකීය සුචරිතවාදීන් ඇසිය හැක.)

පෙම්වතුන්ගෙන් පොලිස් කූඩු පුරවන්නට හෝ ඔවුන්ව සදාචාර දඬුකඳේ ගැසීමට මත්තෙන් ඔවුන්ගේ පසුබිම සොයා බලා විචාරශීලීව කටයුතු කලයුතු නොවන්නේද?


සඳලංකාවේ කක්කුස්සි, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා වෙනත් කතා

මීට දශක ගණනාවකට පෙර, ස්වීඩන් හා නෝර්වේ ආධාර ඇතිව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක මගේ මිතුරකුගේ මාමා කෙනෙක් ඉංජිනේරුවකු ලෙස  සේවය කලා. මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් දුෂ්කර ගම්මාන වල පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම් යනාදී මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාත්මක වූවක්.

කිහිප වතාවක්ම මගේ මිතුරාගේ නිවසේදී මෙම මහතා හා කතාබහ කිරීමට ලැබුනු අවස්ථා වල, අනුරාධපුර, පොළොන්නරුව, ආණමඩුව ආදී දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති ගම්මාන වල සේවය කරද්දී ඔහු ලද අත්දැකීම් රාශියෙන් එක් සුලු සිදුවීමක් ඔහු විස්තර කලේ මෙලෙසයි.

“මිනිස්සුන්ට ගොඩක්ම ඕන උනේ තමුන්ගෙ ගෙවල් වලට කිට්ටුවෙන් අපිට කියල නල ළිඳක් දමා ගන්න. හැබයි වැසිකිළි වලට නම් කිසිම ඩිමාන්ඩ් එකක් තිබුනෙ නෑ.

ගොඩක් මිනිස්සු අපෙන් ඇහුවෙ…”
“එළිබහින්න කාමර මොකටද මහත්තයා ?”
“පඳුරක් මුවාවට ගිහින් වැඩේ කොරල, ඇල පාරකින් හොදගන්නව වගේ නෑ”
“පස්ස හෝදන්නෙ නැති සුද්දො කොරන වැඩ අපට කොරන්න ඇහැකිද ?” වගේ ප්‍රශ්නම තමයි.

“ඕන තරම් වන ලැහැබ්, ඉඩපාඩු තිබිච්ච කාලෙක ඒ ප්‍රොජෙක්ට් එක ඉක්මන්වුනා වැඩී කියල දැන් හිතෙනවා” කියන එක තමයි ඔහුගේ අදහස වුනෙත්.

**************************************
මහෝදරට මේ කතාව මතක් උනේ පහුගිය මාස දෙකතුනේ ගොඩක් බ්ලොග් වලට පාඨකයො දක්වල තිබ්බ අදහස් දැක්කහමයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අන්තර්ජාතික සම්බන්ධතා, මාධ්‍ය නිදහස, වංචා හා දූෂණ යනාදී කරුණු කාරනා ගැන විවිධ බ්ලොග් රචකයින්ගේ ලිපි වලට, ඉතා ප්‍රාථමික මට්ටමේ ආදිකල්පිත තර්ක විතර්ක සහිත ප්‍රතිචාර (comments) බොහොමයක් ලැබී තිබුනා.

බොහෝ දෙනා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අන්තර්ජාතික සම්බන්ධතා, මාධ්‍ය නිදහස වැනිදේ “ඊනියා බටහිර බලවේග” විසින් මෙරටට ආනයනය කරන ලද විෂ අපද්‍රව්‍ය ලෙස සලකා තිබුනා. තවත් සමහරුන් මේවා හුදෙක් පොෂ් වීමේ සාධක ලෙස වර්ග කරගෙන තිබුනා.

වංචා, දූෂණ, අන්තනෝමතික බව හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීම “සංවර්ධනය කරා යන ගමනක” අනිවාර්ය හා ප්‍රමානවත් සාධකයන් බවයි සමහරුන්ගේ මතය වී තිබුනේ.

මෙය කොතරම් දුරදිග ගොස් ඇතිදැයි කියනවානම්, අපිට ප්‍රජාතන්ත්‍රවාදයක් මොකටද, ඒකාධිපති රාජාණ්ඩුවක් කොච්චර සිරියාවන්තදැයි ප්‍රසිද්ධියේ කියන තරමටම සමහර “බුද්ධිමතුන්” (ගස් නැති රටේ තුත්තිරි ගසුත් ගස්ලුනෙ…) මන්දබුද්ධික උනා.
ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අන්තර්ජාතික සම්බන්ධතා, මාධ්‍ය නිදහස යනාදිය මේ තරම් පිළිකුල් කිරීමටත්, ඒවා ගැන කතාකිරීම “බටහිර කුමන්ත්‍රණ” වලට හසු වීමක් හෝ ආනන්තරීය පාපකර්මයක් ලෙස දැකීමටත් හේතුව ඉහත සිද්ධියේ දුෂ්කර ගම්මාන වල ගැමියන්ට වැසිකිලි සාදා දුන්නා ඉක්මන් වැඩි වූ අයුරින්ම අපට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනා ඉක්මන් වැඩි වීමද?

නැතිනම්, ජනතාවගේ ඇට මිදුලු තුලට පරම්පරා ගණනක් තිස්සේ කාවැදී ඇති වැඩවසම් ජන්මාණු පරිණාමය වීමේ ප්‍රමාදයද?

වංචාවට, දූෂණයට හා අන්තනෝමතික බවට මේ තරම් ලෙන්ගතු, අප විජය නැමති හොර තක්කඩි වංචාකාරයෙක්ගෙන් පැවත ඒමද?

ජනතාව, නොදන්නා දෙයියන්නාසේට වඩා, දන්න කියන මළයකාටම පෙම් බඳින්නේ මින් කවර නම්වූ හේතුවක් නිසාද?
පලි
—-
කෙසේ වෙතත් එම ගම්මාන වල වීරවංසයා වැනි ජෝකරයන් නොසිටිබව නම් සහතිකය. එහෙව් පුතයෙක් හිටියානම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයන්ට එරෙහිව අභීත ලෙස සටන් (උපවාස හෝ මළවර්ජන) කොට  මවුබිම පර සුද්දාගේ ඊනියා කක්කුස්සි මර-උගුලෙන් ගලවා ගනු නොඅනුමාණය.