Monthly Archives: සැප්තැම්බර් 2010

සඳලංකාවේ කක්කුස්සි, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා වෙනත් කතා

මීට දශක ගණනාවකට පෙර, ස්වීඩන් හා නෝර්වේ ආධාර ඇතිව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක මගේ මිතුරකුගේ මාමා කෙනෙක් ඉංජිනේරුවකු ලෙස  සේවය කලා. මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් දුෂ්කර ගම්මාන වල පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම් යනාදී මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාත්මක වූවක්.

කිහිප වතාවක්ම මගේ මිතුරාගේ නිවසේදී මෙම මහතා හා කතාබහ කිරීමට ලැබුනු අවස්ථා වල, අනුරාධපුර, පොළොන්නරුව, ආණමඩුව ආදී දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති ගම්මාන වල සේවය කරද්දී ඔහු ලද අත්දැකීම් රාශියෙන් එක් සුලු සිදුවීමක් ඔහු විස්තර කලේ මෙලෙසයි.

“මිනිස්සුන්ට ගොඩක්ම ඕන උනේ තමුන්ගෙ ගෙවල් වලට කිට්ටුවෙන් අපිට කියල නල ළිඳක් දමා ගන්න. හැබයි වැසිකිළි වලට නම් කිසිම ඩිමාන්ඩ් එකක් තිබුනෙ නෑ.

ගොඩක් මිනිස්සු අපෙන් ඇහුවෙ…”
“එළිබහින්න කාමර මොකටද මහත්තයා ?”
“පඳුරක් මුවාවට ගිහින් වැඩේ කොරල, ඇල පාරකින් හොදගන්නව වගේ නෑ”
“පස්ස හෝදන්නෙ නැති සුද්දො කොරන වැඩ අපට කොරන්න ඇහැකිද ?” වගේ ප්‍රශ්නම තමයි.

“ඕන තරම් වන ලැහැබ්, ඉඩපාඩු තිබිච්ච කාලෙක ඒ ප්‍රොජෙක්ට් එක ඉක්මන්වුනා වැඩී කියල දැන් හිතෙනවා” කියන එක තමයි ඔහුගේ අදහස වුනෙත්.

**************************************
මහෝදරට මේ කතාව මතක් උනේ පහුගිය මාස දෙකතුනේ ගොඩක් බ්ලොග් වලට පාඨකයො දක්වල තිබ්බ අදහස් දැක්කහමයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අන්තර්ජාතික සම්බන්ධතා, මාධ්‍ය නිදහස, වංචා හා දූෂණ යනාදී කරුණු කාරනා ගැන විවිධ බ්ලොග් රචකයින්ගේ ලිපි වලට, ඉතා ප්‍රාථමික මට්ටමේ ආදිකල්පිත තර්ක විතර්ක සහිත ප්‍රතිචාර (comments) බොහොමයක් ලැබී තිබුනා.

බොහෝ දෙනා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අන්තර්ජාතික සම්බන්ධතා, මාධ්‍ය නිදහස වැනිදේ “ඊනියා බටහිර බලවේග” විසින් මෙරටට ආනයනය කරන ලද විෂ අපද්‍රව්‍ය ලෙස සලකා තිබුනා. තවත් සමහරුන් මේවා හුදෙක් පොෂ් වීමේ සාධක ලෙස වර්ග කරගෙන තිබුනා.

වංචා, දූෂණ, අන්තනෝමතික බව හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීම “සංවර්ධනය කරා යන ගමනක” අනිවාර්ය හා ප්‍රමානවත් සාධකයන් බවයි සමහරුන්ගේ මතය වී තිබුනේ.

මෙය කොතරම් දුරදිග ගොස් ඇතිදැයි කියනවානම්, අපිට ප්‍රජාතන්ත්‍රවාදයක් මොකටද, ඒකාධිපති රාජාණ්ඩුවක් කොච්චර සිරියාවන්තදැයි ප්‍රසිද්ධියේ කියන තරමටම සමහර “බුද්ධිමතුන්” (ගස් නැති රටේ තුත්තිරි ගසුත් ගස්ලුනෙ…) මන්දබුද්ධික උනා.
ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අන්තර්ජාතික සම්බන්ධතා, මාධ්‍ය නිදහස යනාදිය මේ තරම් පිළිකුල් කිරීමටත්, ඒවා ගැන කතාකිරීම “බටහිර කුමන්ත්‍රණ” වලට හසු වීමක් හෝ ආනන්තරීය පාපකර්මයක් ලෙස දැකීමටත් හේතුව ඉහත සිද්ධියේ දුෂ්කර ගම්මාන වල ගැමියන්ට වැසිකිලි සාදා දුන්නා ඉක්මන් වැඩි වූ අයුරින්ම අපට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනා ඉක්මන් වැඩි වීමද?

නැතිනම්, ජනතාවගේ ඇට මිදුලු තුලට පරම්පරා ගණනක් තිස්සේ කාවැදී ඇති වැඩවසම් ජන්මාණු පරිණාමය වීමේ ප්‍රමාදයද?

වංචාවට, දූෂණයට හා අන්තනෝමතික බවට මේ තරම් ලෙන්ගතු, අප විජය නැමති හොර තක්කඩි වංචාකාරයෙක්ගෙන් පැවත ඒමද?

ජනතාව, නොදන්නා දෙයියන්නාසේට වඩා, දන්න කියන මළයකාටම පෙම් බඳින්නේ මින් කවර නම්වූ හේතුවක් නිසාද?
පලි
—-
කෙසේ වෙතත් එම ගම්මාන වල වීරවංසයා වැනි ජෝකරයන් නොසිටිබව නම් සහතිකය. එහෙව් පුතයෙක් හිටියානම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයන්ට එරෙහිව අභීත ලෙස සටන් (උපවාස හෝ මළවර්ජන) කොට  මවුබිම පර සුද්දාගේ ඊනියා කක්කුස්සි මර-උගුලෙන් ගලවා ගනු නොඅනුමාණය.

Advertisements